චෛතසික හා සම්ප්‍රයෝග

සතර පරමාර්ථ ධර්ම අතුරෙන් දෙවැන්න

චෛතසික 52

“චෙතසි භවං තදායත්තවුත්තිතායාති චෙතසිකං.”(අභි.සං)

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය.

හැඳින්වීම

චෛතසිකය

“චෙතසි භවං තදායත්තවුත්තිතායාති චෙතසිකං.” (අභි.සං)

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය.

සිත සමඟ එකට ඉපදීම ය, එකට නැති වීම ය, සිතින් ගන්නා අරමුණ ගැනීම ය, සිතට නිඃශ්‍රය වූ වස්තුව ම නිඃශ්‍රය කර ගැනීම ය යන මේ කරුණු සතර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය.

සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නූපදිති. සිතක් නැති ව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේ ද නැත. සම්පූර්ණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතට ද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උපදී. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත. (අභි,ච)

පරමත්ථ දීපනී ටීකා පාඨය

"චෙතසිකන්‌ති එත්‌ථ චෙතසි භවං තදායත්‌තවුත්‌තිතායාති චෙතසිකං. ඵස්‌සාදි ධම්‌මජාතං. එත්‌ථ ච තදායත්‌තවුත්‌තිතා නාම එකුප්‌පාදතාදීහි ලක්‌ඛණෙහි චිත්‌තෙන සහ එකීභූතස්‌ස විය පවත්‌ති. එතෙන යා චිත්‌තස්‌ස ජාති. සා එව ඵස්‌සාදීනං. යා චිත්‌තස්‌ස ජරා, යං චිත්‌තස්‌ස මරණං, යං චිත්‌තස්‌ස ආරම්‌මණං, යං චිත්‌තස්‌ස වත්‌ථු, තදෙව ඵස්‌සාදීනන්‌ති එවං එකපුප්‌ඵමඤ්‌ජරියං එකවණ්‌ටුපනිබ්‌බන්‌ධානි පුප්‌ඵානි විය චිත්‌තෙන සහ එකජාතියාදි උපනිබ්‌බන්‌ධා ඵස්‌සාදයො ධම්‌මා ඉධ චෙතසිකං නාමාති සිද්‌ධා හොන්‌ති. එවඤ්‌ච සති චිත්‌තංපි තෙහි ඵස්‌සාදීහි සහ තථෙවආයත්‌තං පවත්‌තතීති තංපි ඵස්‌සිකං වෙදනිකන්‌ති ආදිනා වත්‌තබ්‌බන්‌ති චෙ. න. චිත්‌තස්‌සෙව ජෙට්‌ඨකත්‌තා. මනොපුබ්‌බඞ්‌ගමා ධම්‌මා, මනොසෙට්‌ඨා මනොමයාති හි වුත්‌තං. එත්‌ථ ච මනොමයාති මනසා එව පකතා නිම්‌මිතා චිත්‌තක්‍රියාභූතාති අත්‌ථො. එතෙන තෙ ඵස්‌සාදයො ධම්‌මා චිත්‌තෙන විනා නුපලබ්‌භන්‌තීති දස්‌සෙති. චිත්‌තං පන තෙහි කෙහිචි විනාපි පවත්‌තති යෙව. පඤ්‌ච විඤ්‌ඤාණචිත්‌තඤ්‌හි තෙහි කෙහිචි විතක්‌කාදීහි විනා උප්‌පජ්‌ජතීති. තස්‌මා තෙසඤ්‌ඤෙව තදායත්‌තවුත්‌තිතා වත්‌තබ්‌බා න චිත්‌තස්‌සාති."

සිංහල අර්ථ විවරණය

"මෙහි 'චෛතසික' යනු: සිතෙහි හටගන්නා බැවින් ද, ඒ සිතට අයත් ව (සිත ඇසුරු කොට) පැවැත්මක් ඇති බැවින් ද 'චෛතසික' නම් වේ. එනම් ඵස්සාදී ධර්ම සමූහයයි.

මෙහි 'තදායත්තවුත්තිතා' (ඒ සිතට අයත් ව පැවැත්ම) නම්: එකට ඉපදීම (එකුප්පාද) ආදී වූ සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් සිත සමඟ එක්තැන් වූවාක් මෙන් පැවතීමයි.

එබැවින් යම් උපතක් (ජාතියක්) සිතට වේ ද, එයම ඵස්සාදීන්ට ද වේ. යම් දිරීමක් (ජරාවක්/ඨිතියක්) සිතට වේ ද, යම් බිඳීමක් (මරණයක්/භංගයක්) සිතට වේ ද, යම් අරමුණක් සිතට වේ ද, යම් වස්තු රූපයක් සිතට නිශ්‍රය වේ ද, එයම ඵස්සාදී චෛතසිකයන්ට ද වේ.

මෙසේ එක් මල් පොකුරක එක් නටුවක බැඳී පවත්නා මල් මෙන්, සිත සමඟ එකම ඉපදීම ආදියෙන් බැඳී පවත්නා ඵස්සාදී ධර්මයෝ මෙහි 'චෛතසික' නම් වෙති යි සිද්ධ වේ.

මෙසේ ඇති කල්හි, 'සිත ද ඒ ඵස්සාදී චෛතසිකයන් හා එලෙසින්ම බැඳී පවතින බැවින්, සිතට ද ඵාස්සික (ඵස්සයට අයත් වූව), වේදනික (වේදනාවට අයත් වූව) යනාදී වශයෙන් කිව යුතු නොවේ ද?' යත්;

නැත, එසේ නොකිය යුතුය. මක්නිසාද යත් සිත ම ප්‍රධාන (ජ්‍යෙෂ්ඨ) වන බැවිනි.

'මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා' (සියලු ධර්මයනට සිත පෙරටු වන්නේය, සිත ශ්‍රේෂ්ඨ වන්නේය, සිතින් ම උපදින්නේය) යැයි වදාරන ලද්දේ නොවේ ද? මෙහි 'මනෝමයා' යනු සිතින් ම මවන ලද්දාක් මෙන් සිතේ ම ක්‍රියාකාරීත්වයක් බවට පත්වන බැවිනි යන අර්ථයයි. මෙයින් ඒ ඵස්සාදී ධර්මයෝ සිතින් තොරව නොලැබෙන බව (නූපදින බව) දක්වයි.

නමුත් සිත වනාහි ඒ ඇතැම් චෛතසිකයන්ගෙන් තොරව ද පවතින්නේ ම ය. පංච විඤ්ඤාණ සිත් (ඇස, කන, නාසය, දිව, කය යන ද්විපංච විඤ්ඤාණ සිත්) විතර්කාදී වූ ඇතැම් චෛතසිකයන්ගෙන් තොරව ද උපදින බැවිනි.

එහෙයින් ඒ ඵස්සාදී චෛතසිකයන්ගේ ම සිතට අයත් පැවැත්ම (තදායත්තවුත්තිතාව) ප්‍රකාශ කළ යුතු ය, සිතෙහි චෛතසිකයන්ට අයත් පැවැත්මක් ප්‍රකාශ නොකළ යුතු ය."

එකට ඉපදීම
සිත සමඟ එකවර
එකට නැතිවීම
සිත සමඟ එකවර
එකම අරමුණ
සිත ගන්නා අරමුණ
එකම වස්තුව
සිතට නිඃශ්‍රය

චෛතසික යනු කුමක්ද?

මදකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම ය, එකට ම නිරුද්ධ වීම ය, සිතින් ගන්නා අරමුණ ම ගැනීම ය, සිත උපදනා තැන ම ඉපදීම ය යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ ය.

සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින් වත් වෙන් කළ නොහැන පරිදි මිශ්‍රවීම ය. එකට ඉපදීම ආදී කරුණු සතරට "සම්ප්‍රයෝග ලක්ෂණ සතර" යි කියනු ලැබේ.

සම්ප්‍රයෝග ලක්ෂණ සතර
1

එකුප්පාද

මදකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම

2

එකනිරෝධ

සිත හා එකට ම නිරුද්ධ වීම

3

එකාලම්බන

සිතින් ගන්නා අරමුණ ම ගැනීම

4

එකවත්ථුක

සිත උපදනා තැන ම ඉපදීම

චෛතසික රාශි තුන
අඤ්ඤසමාන රාශිය
13

සර්වචිත්ත සාධාරණ 7 + ප්‍රකීර්ණක 6

අකුසල රාශිය
14

අකුසල සාධාරණ 4 + අකුසල අසාධාරණ 10

සොභන රාශිය
25

සොභන සාධාරණ 19 + විරති 3 + අප්පමඤ්ඤා 2 + පඤ්ඤා 1

විශේෂ කරුණු

  • • එක් සිතක් සමග එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන තිස් හයකි (36).
  • • චෛතසිකයන්ගේ සහයෝගය නැතිව සිතකට නූපදිය හැක. සිතේ සහයෝගය නැතිව චෛතසිකයකට ද නූපදිය හැක.
  • • සිතත්, ඒ සිතින් සිදුකරන කෘත්‍යය සිදු කිරීමට වුවමනා චෛතසිකයෝත්, පෙර පසු නොවී එක වර ම ඉපදිය යුතු ය.
  • • ලීයක අරටුව ඉතිරි වී එළය පළමුවෙන් දිරා නොයන්නාක් මෙන්, එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නොවේ.
ඉක්මන් සම්ප්‍රයෝග සාරාංශය
චෛතසික රාශිය ගණන යෙදෙන සිත්වල ස්වභාවය

චෛතසික සිතියම

චෛතසිකයක් එබූ විට එහි විස්තරය, යෙදෙන සිත්, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන පෙන්වයි. සිතක් තෝරා ඒ සිතට යෙදෙන චෛතසික බැලිය හැක.
සිතක් තෝරන්න: