සතර පරමාර්ථ

අභිධර්ම පිටකය

සතර පරමාර්ථ

“තත්ථ වුත්තාභිධම්මත්ථා - චතූධා පරමත්ථතො,
චිත්තං චෙතසිකං රූපං - නිබ්බාණමිති සබ්බථා”

1-චිත්ත, 2-චෛතසික, 3-රූප, 4-නිර්වාණය යි අභිධර්මපිටකයෙහි වදාළ තාක් අර්ථ පරමාර්ථ වශයෙන් සිව් වැදෑරුම් වේ. මෙහි අර්ථ නම් කුශලාදිය හා ස්කන්ධාදිය යි. (අභිධර්ම චන්ද්‍රිකාව)

අභිධම්මත්ථ විවරණය • පාලි පාඨය

"තත්‌ථ තස්‌මිං අභිධම්‌මෙ සබ්‌බථා කුසලාදිවසෙන, ඛන්‌ධාදිවසෙන ච වුත්‌තා අභිධම්‌මත්‌ථා පරමත්‌ථතො සම්‌මුතිං ඨපෙත්‌වා නිබ්‌බත්‌තිතපරමත්‌ථවසෙන චිත්‌තං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො, චෙතසිකං වෙදනාදික්‌ඛන්‌ධත්‌තයං, රූපං භූතුපාදායභෙදභින්‌නො රූපක්‌ඛන්‌ධො, නිබ්‌බානං මග්‌ගඵලානමාරම්‌මණභූතො අසඞ්‌ඛතධම්‌මොති එවං චතුධා චතූහාකාරෙහි ඨිතාති යොජනා. තත්‌ථ පරමො උත්‌තමො අවිපරීතො අත්‌ථො, පරමස්‌ස වා උත්‌තමස්‌ස ඤාණස්‌ස අත්‌ථො ගොචරොති පරමත්‌ථො."

සිංහල අර්ථ විවරණය

"එහි (එම අභිධර්ම සංග්‍රහයෙහි), ඒ අභිධර්මය තුළ සියලු ආකාරයෙන් කුසල් ආදී වශයෙන් ද, ස්කන්ධ ආදී වශයෙන් ද දේශනා කරන ලද අභිධර්මාර්ථයෝ සම්මුතිය බැහැර කොට (සම්මුතිය පසෙක තබා), යථාර්ථ වශයෙන් පහළ වූ පරමාර්ථ වශයෙන්:

  • චිත්තය — විඤ්ඤාණස්කන්ධය යි,
  • චෛතසිකය — වේදනාදී වූ (වේදනා, සඤ්ඤා, සංඛාර යන) ස්කන්ධත්‍රය යි,
  • රූපය — භූත (මහාභූත) සහ උපාදාය වශයෙන් භේදයට පැමිණි රූපස්කන්ධය යි,
  • නිර්වාණය — මාර්ග ඵලයන්ට අරමුණු වූ අසංඛත ධර්මය යි.

මෙසේ සිව් ආකාරයකින්, ආකාර සතරකින් පිහිටා තිබේ යැයි යෙදුම (යෝජනාව) දත යුතුය. එහි 'පරමාර්ථ' යනු: පරම වූ හෙවත් උතුම් වූ, අවිපරීත වූ (වෙනස් නොවන සත්‍ය) අර්ථය 'පරමාර්ථ' නම් වේ. නැතහොත් පරම වූ, උතුම් වූ (සර්වඥතා/ලෝකෝත්තර) ඥානයාගේ අර්ථය හෙවත් ගෝචරය (අරමුණ) වන බැවින් 'පරමාර්ථ' නම් වේ."

පරමාර්ථ ධර්ම යනු මොනවා ද?

සත්ත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතා ම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලෝකයට අයත් සියල්ලේ ම මූලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍රව්‍යයන් නොව, බල වේගයෝ ය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව, ආදි සටහන් ඒවාට නැත්තේ ය.

චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කොටින් කියන කල්හි පරමාර්ථ සතරෙකි. (අභිධර්ම මාර්ගය)

සතර පරමාර්ථ විස්තරය

1චිත්තය 89 / 121

පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්ද්‍රිය පස නිසාත්, ශුද්ධ මනෝද්වාරය නිසාත් ඒ දැනීම ඇති වේ. ඇස නිසා ඇති වන දැනීමට දැකීමය යි ද, කන නිසා ඇති වන දැනීමට ඇසීම යයි ද කියති. දැකීම පෙනීම කල්පනා වීම අදහස් පහළ වීම යන මේ වචනවලින් කියැවෙන්නේ චිත්තය හෙවත් සිත ය. දැනෙන දේවලට අරමුණ යයි කියනු ලැබේ. අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලෙක සිතක් ඇති නොවේ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙන ම බෙර හඬ ඇති වන්නාක් මෙන් ඉන්ද්‍රියයන්හි අරමුණු ගැටෙන කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙන ම සිත් ඇති වේ. ඒ දැනීම් සියල්ල ම ක්‍රියාවෝ ය. එබැවින් ඇති වන සිත් සියල්ල ම එකෙණෙහි ම නැති වේ. දැනීම් මාත්‍රය ම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය.

2චෛතසිකය 52

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය. සිත සමඟ එකට ඉපදීම ය, එකට නැති වීම ය, සිතින් ගන්නා අරමුණ ගැනීම ය, සිතට නිඃශ්‍රය වූ වස්තුව ම නිඃශ්‍රය කර ගැනීම ය යන මේ කරුණු සතර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය.

සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නූපදිති. සිතක් නැති ව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේ ද නැත. සම්පූර්ණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතට ද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උපදී. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත.

3රූපය 28

සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය. රූප විසි අටක් ඇත්තේ ය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති එක් රූපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස ඇසට පෙනෙන රූප නො වේ. රූප යන වචනයේ තේරුම ශීතෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් වීමෙන් විකාරයට පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශීතෝෂ්ණාදිය හා ඒවායේ ගැටීමක් සිදු නොවේ.

4නිර්වාණය 1

රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය ය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ඒ ධර්මය ඇති කිරීමට නිසි හේතූන් එක් රැස් වීමෙන් ම ඇති වන ධර්මයෝ ය. ප්‍රත්‍යයෙන් ඇති කරන බැවින් ඒවාට සඞ්ඛත ධර්මයෝ ය යි කියනු ලැබේ. සඞ්ඛත ධර්මයෝ ඇති වීමෙන් පසු මොහොතකුදු නො පැවතී බිඳෙන්නෝ ය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝ ය.

නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හටගැන්වීමක් නැති ව ම ඇති ධර්මයෙකි. එබැවින් එයට අසඞ්ඛත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නො වන සෑම කල්හි ම පවත්නා ධර්මයෙකි. එය ඉතා ගැඹුරු ධර්මයෙකි. මහත් වූ වීර්‍ය්‍යයකින් ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයෙකි. ලොකොත්තර මාර්ගය වඩා එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්‍ය්‍යයෝ සසර දුකින් මිදෙති. බුද්ධාගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස් ම දෙය ඒ නිර්වාණය ය.

සංඛත ධර්මය

89/121

චිත්ත

අකුසල 12, කුසල 21, විපාක 36, ක්‍රියා 20

අරමුණ සිතන්නේ ය, එනම් අරමුණ දැන ගන්නේ ය යන අර්ථයෙන් චිත්ත නම් වේ.

සිත් 121 වගුව බලන්න

සංඛත ධර්මය

52

චෛතසික

අඤ්ඤසමාන 13, අකුසල 14, සොභන 25

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය.

චෛතසික සිතියම බලන්න

සංඛත ධර්මය

28

රූප

නිප්ඵන්න 18, අනිප්ඵන්න 10

සීත, උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාරයට (වෙනස් බවට) පැමිණෙන්නේ ය යන අර්ථයෙන් රූප නම් වේ. එසේ නැතහොත් ඒ විරුද්ධ ප්‍රත්‍යයන් විසින් පීඩාවට පමුණුවනු ලබන්නේ ය යන අර්ථයෙන් ද රූප නම් වේ.

රූප සිතියම බලන්න

අසංඛත ධර්මය

1

නිබ්බාන

අසංඛත ධාතුව

"කුඩා-මහත් භවයන් (නැවත නැවත උපදින භවයන්) එකිනෙක ගලපන, මහන හෙවත් ගැටගසන 'වාන' නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණේ (බැහැර වූයේ) ද, නැතහොත් යමකින් රාගාදී ගිනි නිවී යන්නේ ද, එහෙයින් නිර්වාණ නම් වේ."

නිබ්බානය ගැන කියවන්න

සතර පරමාර්ථ සාරාංශය

පරමාර්ථ ධර්මයගණනවිස්තරය
චිත්ත89/121අරමුණ දැන ගැනීමේ ස්වභාවය ඇති සිත
චෛතසික52සිත හා එකට උපදින ධර්ම
රූප28අරමුණ නොදන්නා රූපී ස්වභාවය
නිබ්බාන1අසංඛත ධාතුව, නිර්වාණය